Search This Blog

RSS

දෙමව්පියන් කිහිප දෙනෙක් එවූ ලිපියට පිළිතුරු

සුමේධ විදුහලේ  3 පන්තියේ බාහිර අධ්‍යාපන කටයුතු

මෙම කරුණු සම්බන්ධව දෙමව්පියන් රැසක් අත්සන් කළ ලිපියක් ලැබී ඇත. එම දෙමව්පියන්ගෙන් කිහිප දෙනෙකුගේ පමණක් නම් සඳහන් වී ඇත. එලෙස නම් සඳහන් කිරීම ගැන අපගේ ස්තුතිය පළ කරමු.
ඔබ ලිපියේ ඇති චෙස් , ස්ක්‍රැබල් , ඉංග්‍රීසි අධ්‍යාපනය වැනි කරුණු පිළිබඳව පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරු භවතුන් සහ කළමණාකාරීත්වය සාකච්ඡා කළෙමු. එම සාකච්ඡාවෙන් පසුව පහත සඳහන් කරුණු කාරණා ඔබ සැමට නැවත මතක් කර දීමට අප අදහස් කළෙමු.

පළමු කොට මෙලෙස ඔබ සැම සාමුහික වී ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම ගැන අපගේ ස්තුතිය පුද කරමු.
ප්‍රාථමික අවධියේ දී chess හා scrabble ක්‍රීඩාව දරුවෙකුගේ මූලික චිත්ත වර්ධනයට ඉතා වැදගත් බව සියලූ අධ්‍යාපනික දාර්ශනිකයන් පිළිගන්නා කරුණකි. තවද පොතපත නිසා දරුවාට ලැඛෙන ඒකාකාරී පාසල් දිවියේ යම්තාක් දුරට විවිධත්වයක් දීමට මෙම ක්‍රීඩා දෙක සහ අනෙකුත් ක්‍රීඩා ඉතා වැදගත් බවද ප්‍රාථමික අධ්‍යාපනය ගැඹුරින් හැදෑරු සියලූ දෙනාම එකඟ වන කරුණකි.

ඔබ සඳහන් කළ පරිදි ජිම්නාස්ටික් ක්‍රීඩාවද ඉතා වැදගත් බව අපද පිළිගනිමු.  එනමුදු 3 වසර වන විට දරුවාට ලබා දිය යුතු පොතපත, පරිපූර්ණ අධ්‍යාපනයට අවශ්‍ය ක්‍රීඩා සහ අනෙකුත් බාහිර කටයුතු බහුල නිසා ජිම්නාස්ටික් ක්‍රීඩාව පාසල් වේලාව තුළ කිරීමට නොහැකිය. එබැවින් 2017 පාසල් වේලාවෙන් පසු අප පවත්වන පුද්ගලික ජිම්නාස්ටික් පන්තිවලට දෙමව්පියන් කැමති නම් දරුවන් සහභාගී කරවීම ඉතා යෝග්‍ය බව අප ද පිළිගන්නා අතර, ඔබ දරුවා 1,2 වසරේ දී ජිම්නාස්ටික් ක්‍රීඩාවේ මූලධර්ම හොඳින් ග්‍රහණය කළහොත් 3 වසරේදී ඔහු තෝරා ගන්නා පිහිනුම් බැඩ්මින්ටන්, මේස පන්දු, ක්‍රිකට් නිසි ලෙස ප්‍රගුණ කිරීමට හැකි වේ.

ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් ලෙස කළ යුතුයැයි එම ලිපියේ සඳහන් කිරීම ගැන අප සතුටු වෙමු. ඔබ සඳහන් කළ සැම කරුණකටම ගෞරවය දක්වන අතර, එහි සඳහන් වන ස්ක්‍රැබල් සහ චෙස් නිවසේ දී වැඩිහිටියනට දරුවන් සමඟ ක්‍රීඩා කිරීමට නොහැකි යැයි පැවසීම අප හට එකඟ විය නොහැකිය. ඒ මන්දයත්, දරුවෙකුගේ නිසි වර්ධනයට ඉතා වැදගත් අංගයක් වන නිවසේ දී දෙමව්පිය සහ වැඩිහිටියන් සමඟ සමීප ඇසුර, මෙවැනි ක්‍රීඩා නිවසේ දී කිරීම තුළින් අනිවාර්යෙන් වර්ධනය වන බව මතක් කර දෙමු.

නූතන දරුවෙකු නිසි ලෙස වර්ධනය කිරීමට අවශ්‍ය පොතපත අධ්‍යාපනයේ, ක්‍රීඩා සහ බාහිර කටයුතුවල වෙනස්කම්,  සුමේධ විදුහලේ කළමණාකාරීත්වය සහ ජ්‍යෙෂ්ඨ ගුරු මහත්ම මහත්මීන් සංශෝධනය කිරීමට මැලි නොවන බව දන්වනු කැමැත්තෙමු. එලෙස අප කරන වෙනස්කම් කෙතරම් සාර්ථක වේදැයි සැමවිටම අධ්‍යයනය කිරීමට පසු බට වන්නේ නැත.

එබැවින් ස්ක්‍රැබල්, චෙස් ක්‍රීඩාව පන්ති කාමරය තුළ කිරීම ද අප ඉතා කල්පනාකාරීව අධ්‍යයනය කරන අතර අවශ්‍ය යැයි සිතුවහොත් එම ඉගැන්වීම් ක්‍රමවේදවල වෙනස්කම් කිරීමට මැලි නොවන බව දන්වමු.

ස්තුතියි
මීට
කළමණාකාරීත්වය.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

දෙමව්පියන් කිහිප දෙනෙක් එවූ ලිපියට පිළිතුරු

සුමේධ විදුහලේ ආර්ථීකය

සුමේධ විදුහලේ ආර්ථීකය සම්බන්ධව දෙමව්පියන් පිරිසක් අත්සන් රැසක් සමඟ ලිපියක් එවා ඇත. අත්සන් කරපු අයගේ නම් නැතිවීම කණගාටුවට කරුණකි. ඒ මන්දයත්, කළමණාකාරීත්වයට එම දෙමව්පියන් සමඟ සෘජුව සම්බන්ධ වී, මෙම කරුණු හොඳින් වටහා දීමට අවස්ථාව ගිලිහී ගිය නිසාය.පළමු කොට මෙලෙස අදහස් ඉදිරිපත් කිරීම ගැන එම දෙමව්පියන්ට විදුහල්පතිතුමියගේ සහ කළමණාකාරීත්වයේ තුති පුදමු.

සමස්තයක් වශයෙන් එම ලිපියේ, පාසල් කටයුතු සහ ක්‍රීඩා කටයුතුවලට අය කරන මුදල් වැඩි කිරීම සාධාරණ නොවන බව පෙන්වා දී ඇත.විදුහල්පතිතුමිය, ජ්‍යෙෂ්ඨ ගුරු මහත්මිය සහ කළමණාකාරීත්වය ඔබ සැම එවූ ලිපිය සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවේ දී සියලූ දෙනාම එකඟ වූ ලෙස පහත සඳහන් කරුණු දෙමව්පියන්ට නැවත මතක් කර දීමට තීරණය කළෙමු.
  1. අප මධ්‍යස්ථානයට සහ පාසල් වලට පිටතින් කිසිම ආධාරයක් නොමැති බවද දරුවනගේ පොත් හැර වෙන කිසිම විධියකින් රජයේ ආර්ථීක පහසුකම් ලබා නොදෙන බවය. 
  2. මෙම මධ්‍යස්ථානය සීඝ්‍රයෙන් අප දියුණු කරයි. එලෙස දියුණු කිරීමට අනිවාර්යෙන් අප හට මුදල් අවශ්‍යයි. එම මුදල් සොයා ගැනීමට, සේවා ගාස්තු වැඩිකරනවා විනා වෙන ක්‍රමයක් නොමැත. 
  3. අප අය කරන මුදල් නැවත මෙම මධ්‍යස්ථායේ ආයෝජනය කරයි. වෙන කිසිම ව්‍යාපාරයකට යොදවන්නේ නැත. කළමණාකාරීත්වය වෙන කිසිම ව්‍යාපාරයක හිමි කරුවන් නොවේ. කළමණාකාරීත්වයේ ඒකායන පරමාර්ථය මෙම මධ්‍යස්ථායේ උපරිමව දියුණු කර ජනතාවට සේවය සැපයීමයි. 
  4. වැඩිවන ජීවන වියදමට සමගාමීව ගුරු සහ සේවක මණ්ඩලයට වේතන වැඩි කළ යුතුය. 
  5. වැට් බදු ඇතුලූ නඩත්තු කිරීමට අවශ්‍ය සෑම භාණ්ඩයකම මිල වැඩි වී ඇත. 
  6. නගරය සහ පාසල අවට වාහන තදබදය සීඝ්‍රයෙන් වැඩිවේ. මීට පිළියමක් ලෙස නව මාවතක් සැකසීම ඉතා වැදගත්ය. 
  7. ඔබට පෙර දැන්වූ පරිදි 2018 වසර වන විට පන්ති කාමර 48 ක් සහ ගෘහස්ත ක්‍රීඩාගාරයක් පාසලට අනිවාර්යය. 
  8. වාහන ගාල් කිරීමට විශාල ඉඩම් ප්‍රමාණයක් මිල දී ගැනීමට සිදුවී ඇත. 
ඔබ සැම යෝජනා කර ඇති පරිදි පාසල් සහ සේවා ගාස්තු වැඩි නොකර අප මධ්‍යස්ථානය සහ පාසල් දියුණු කිරීමට ඇති අනෙකුත් ක්‍රමය නම් බැංකු වලින් විශාල ණය මුදල් ලබා ගැනීමය. එලෙස විශාල මුදලක් ණයට ගත හොත් අනාගතයේ දී සුමේධ විදුහල ආර්ථීක අස්ථාවර තත්ත්වයට පත් විය හැකි වනවා පමණක් නොව, එම ණය මුදල් පොලිය සමඟ නැවත බැංකු වලට ගෙවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට පාසල් වල සහ මධ්‍යස්ථානයේ සේවා ගාස්තු යෝජිත සේවා ගාස්තු වැඩි කිරීම් වලට වඩා දෙගුණයකින් තෙතුණයකින් පමණ වැඩි කිරීමට සිදුවන බව අප මධ්‍යස්ථානයේ ගණකාධිකාරීන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ මතයයි.

ඔබගේ ලිපිය අප ඉතා අගය කරමු. සැමවිටම අප දෙමව්පියන් හට සවන් දීමට සූදානම්ය. විනිවිදභාවය කළමණාකාරීත්වයේ මූලික අංගයකි.

ඉහත සඳහන් පරිදි, ඔබ සැම එවූ ලිපිය, ගණකාධිකාරීන්, අධ්‍යක්ෂක මණ්ඩලය, විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ ගුරු මණ්ඩලය සමඟ සාකච්ඡා කළෙමු. අප සැම දෙනෙක්ගේම මතය වූයේ පාසල සහ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය කඩා නොවැටී මෙම ජනතා සේවාවන් තවත් පුළුල් කිරීමට නම් අප ලබා දෙන සෑම සේවාවකම ගාස්තු සාධාරණව වැඩි කරනවා විනා වෙන ක්‍රමවේදයක් නැති බවය.

ස්තුතියි.
මීට
කළමණාකාරීත්වය

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS